Tuesday 14 August 2018

       


                                               ගීතය සහ විචාරය

                                             ( සීත රෑක මදුසමේ)

             
       සකල විද්‍යාවන්හි පියා ලෙස සැලකෙන ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් විසින් මානවයා, ධනය, බලය සහ ලිංගිකත්වයට ගිජුකමක් ලෙස දක්වනු ලබන බව පවසනු ලැබිණි. වසර හාරදහසක පමණ  ඉතිහාසයකට උරුමකම් කියනු ලබන, ලොව ඉපැරණිතම කාම විද්‍යා කෘතිය ලෙස සලකනු ලබන වාත්සන්‍ය නම් සංස්කෘතික භාෂා පඬිරුවනක් විසින් ලියන ලද “කාමසූත්‍ර“ නැමැති කෘතියේ අතිසාර්ථක යුග දිවියක රහස දක්වනු ලබන්නේ මෙසේය. “සෙනෙහසු මාතා - සයනෙසු වෛශ්‍යා“

      ඉහත සඳහන් සකු බසින් ලියැවී ඇති ශ්ලෝකයේ සිංහල අරුත වන්නේ බිරිඳක විසින් ස්වාමියාට ආදරය කිරීමේදී අම්මා කෙනෙකු මෙන්ම, නිදි යහනේදී වෛශාවක මෙන් ඔහු හා රති කෙළියෙහි යෙදිය යුතු බවය. ලිංගිකත්වය සහ ආලය පිළීබඳ මෙකී යථාර්ථයන් තම සිත්සතන්හි නිධන් කරමින් උක්ත ගීතයේ ගීත රචකයා වන ආනන්ද පද්මසිරි මහතා විසින් පශ්චාත් නූතන ලිබරල්වාදී නූතන ලෝකය තුළ නිදහස් සුවය විඳින කෙළිලොල්, දඟකාර පෙම්සුවය පරම සැපතක් ලෙස සලකනු ලබනු භද්‍ර යෞවනයේ සිටින රසික-රසිකාවියන්ට නොඉඳුල්, කුළුදුල් ආදරයක උන්මාදනීය ස්වභාවය චිත්තරූපී අත්දැකීමක් ලබා දීමට ගන්නා ලද අපූරු නිර්මාණශීලි ප්‍රයත්නයක් ලෙස ‘සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා“ ගීතයට පූර්විකාවක් සැපයිය හැකි අතර එය කිසිසේත් අතිශයෝත්කි වර්ණනාවක් නොවන්නේය.

   කවර හෝ ලිංගික ආස්වාදයක් නොලද පූජනීය ප්‍රේමයක යෙදුනු නව යොවුන් යුවළකගේ මධුසමය තුළ ලබන්නා වූ කුළුදුල් ලිංගික ආස්වාදයක මිහිරියාව පිළිබඳව ගීත රචකයා යොදා ගනු ලබන්නේ සරල බස් වහරකි. එය හෘදයාංගම බවින් අනූනය. එපමණක් නොව එය යෞවන යෞවනියන්ගේ මුවඟ රැඳුනු වචන සමුදායක්ද වන්නේය. මෙම අත්දැකීම වෙත රසිකයා කැඳවා ගෙන යාමේදී ගීත රචකයා විසින් ස්වභාවික පරිසර සාධක උපයෝගී කරගනිමින් රම්‍ය වටපිටාවක් රසික මනස තුළ තැන්පත් කිරීමට ගන්නා ලද උත්සාහය අපූරුයි. එහිලා ඔහු “සීත රැයක“ චිත්ත රූපයක් මවනු ලබන්නේය. 

       සාමාන්‍ය ජන ජීවිතයේදී අධික ශීතලෙන් පසුවන මොහොතක ගැමියන් විසින් ගිනි මැලයක් දවා ඒ අවට රැදෙමින්ද, සුපිරි ධනවතුන් විසින් සිය බංගලාවේ විසිත්ත කාමරයේ කොනක සාදන ලද කුඩා බිම්ගෙයක් වැනි දවන ලද අගුරු වලින් සමන්විත උදුනක් අසල රැඳෙමින්ද ශරීරයට අවැසි උණුසුම ලබා ගනු ලැබේ. එහිදී ගිනි අඟුරු හෝ ගිනි දැල් වෙත දෑත් දිගු කරමින් දෙඅල්ලට ලබා ගන්නා ගිනි රශ්මිය මුහුණ හා අතපය මත තබමින් ශරීරය තවා ගනිමින් අධික ශිතලේ පීඩනය දුරු කර ගැනීමට කටයුතු කෙරේ. එනමුදු මෙම ගීතයේ සඳහන් අත්දැකිම තුළ එවැනි උණුසුමක් ප්‍රාර්ථනා නොකෙරේ.

     මෙම ගීතයට ඖචිතයක් හා අලංකාරයෝක්තියක් වශයෙන් ‘සීත රැය” යන වචනද්වය ගීත රචකයා යොදා ගනු ලබන අතර එම සීත රැයේ උණුසුම පතනුයේ කුළුදුල් ලිංගික සුවය අයදින නව යොවුන් යුවළකි. එම යුවළට ස්වභාවික ගිනි මැලයක උණුසුම අවැසි නොවේ. ඔවුන් දෙදෙනාට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ ශරීරයන්හි රෝම කූපවලින් බුර බුරා නගිනු ලබන ප්‍රේමාග්නියයි. එම ගින්න ඉතා පහසුවෙන් දල්වා ගත නොහැකිය. එහිලා ළය පුරා පූජනීය, වින්දනීය හා බැතිබර ප්‍රේමය පිරි ඉතිරී යන ස්වභාවයක් පවත්වා ගත යුතු වන්නේය. ඒ අනුව කාන්තාවගේ ළය තුළ ප්‍රේමණිය කල්පනාවන්ගෙන් පිරුණු පරිසරයක් ඇති කරමින් ඒ හා බැඳුණු මනෝභාවයක් ඇති කරනු පිණිස කුළුඳුල් ලිංගික අත්දැකීමට මුහුණ දීමට පෙර ගීත රචකයා කාන්තාව තුළ ‘ප්‍රේමණිය කල්පනා‘ ජනිත කරනු ලබන අතර ඒ බව කියා පෑමට ඔහු යොදා ගන්නා ලද වචන සමුදාය වනුයේ ‘ප්‍රේමණිය කල්පනා මා ළයේ මවා‘ යන්නය. 

        පරම පවිත්‍ර ආදරයක් දක්වන උතුම් යුවතියකට ඇගේ පෙම්වතා ඇයගේ ප්‍රාණ වායුව වැන්නා සේය. ඒ බව ‘එයා මගේ පණ වගේ, එයා මගේ ජීවිතයයි, එයා මගේ මුළු ලෝකයයි‘ යනාදි යෙදුම් වලින් ගැමි කාන්තාවෝ ප්‍රකාශ කරනු ලබන අතර එම හැගීමට බටහිර යුවතියන් ප්‍රකාශ කරනුයේ ‘ He is my love, He is my body,He is my soul,He is my everything (ඔහු  මගේ ආදරයයි, ඔහු මගේ ශරීරයයි, ඔහු මගේ ආත්මයයි, ඔහු මගේ  සියල්ලම) යනුවෙනි. ඒ අනුව පිවිතුරු ආදරයත් හුදෙක් ආත්මාර්ථකාමීය. ඉහත කී ආත්මාර්ථකාමී ගති ලක්ෂණ වලින් යුක්ත ආදරණීය කල්පනා වලින් ළය පුරවා ගත් විට මධුසමයේ අත්දැකීම් පෙම්වතියගේ ලේ මස් නහර තුළ තැන්පත් වනුයේ ආත්මීය අයුරිනි. එම අත්දැකීමේ පළමු පියවර ලෙස ගීත රචකයා දකින්නේ මෙලෙසය-

                        “සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
                       ප්‍රේමණීය කල්පනා මා ළයේ මවා

       පෙම්වතිය තම පෙම්වතා තුළින් ප්‍රාර්ථනා කරනු ලබන ආදරය, රැකවරණය, උණුසුම හා දරුවකු හදා වඩා ගැනීම මෙන්ම පවුලක් ලෙස මියැදෙන තුරා එකට ජීවත් වීමේ නොනිත් ආශාව යනාදී අනේක විධ බලාපොරොත්තු මෙන්ම පෙම්වතාට තුරුළු වීම තුළ ලැබෙන උණුසුම  වචනයෙන් විග්‍රහ කළ නොහැකිය. ගත සිත සුවපත් කරන මිහිරියාව නමැති ප්‍රෙමාන්විත හැඟීම වලින් ළය පුරවා ගෙන පෙම්වතාගේ අයිතිකාරිය වීමට ලැබීම රටක් රාජ්‍යයක් ලබා ගැනීම අභිබවා යනු ලබන උත්තරීතර සතුටක.ි මනමෝහනීය ආස්වාදයක-ි ආත්මීය සුවයකි. ඒ බව හෙළ නාට්‍ය සහ ගීත කලාවේ පුරෝගාමියෙකු වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ප්‍රකාශ කළේ මෙලෙසය.

                    “නැත ලොවේ අන් රසඳුනා
                    ප්‍රේමය මෙන් සුව දෙනා
යනුවෙනි-
     ගිත රචකයා ගීතයේ සුවයට පසුව රසිකයා වෙත ඉදිරිපත් කෙරෙන ගීත කණ්ඩය වන්නේ මෙසේයි. 
                       “රෑ දඟ වැඩියි තිසරුන් සළී
                       නොලැබු සුවේ යදිනවා” //

     උක්ත ගීත ඛණ්ඩයේ තිසරුන් යනු උපමා රූපකයකි. එය සිංහල කවියන් අනුගමනය කරමින් ගීත රචකයාද කාන්තාවගේ පිරිපුන් පියයුරු වර්ණනා කිරීමෙහිලා යොදා ගනු ලබන්නේය. එය ඖචිත්‍යයෙන් යුක්තය. බොහෝ වැඩිහිටියෝ “නිදි යහනේ කරන දේ - එළිමහනේ කරන්නේ නෑ” කියා පවසති. ඒ අනුව යුවළක විසින් රති ක්‍රීඩාවෙහි යෙදෙනුයේ අතිශය පෞද්ගලික ආරක්ෂාකාරී වටපිටාවක් තුළය. එය හෙළ සංස්කෘතිය තුළ මුල් බැස ගත් ආචාර ධර්මතාවයකි. ඒ අනුවම යමින් අඳුරු ස්ථානයක පෙම්වතා සමග පෙම් සුවයට පෙම්වතිය විශේෂ උනන්දුවක් ගනු ලබන අතර එවැනි වටපිටාවක පෙම්වතාට තුරුළු වී රිසි සේ පෙම් කෙළියෙහි යෙදීමේ දුර්ලභ අවස්ථාව ඇයට හිමිවේ. එය ඇයට සුන්දර අත්දැකීමක් වීම අරුමයක් නොවේ. 

     රාත්‍රිය යනු ඝනාන්ධකාරය පිරි පරිසර තත්වයකි. එවැනි පරිසරයක් තුළ පෙම්වතාට තුරුළු වී පෙම් කෙළියෙන් පටන් ගෙන රති කෙළිය දක්වා ගමන් කිරීමට පෙම්වතියකට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වනු නිසැකය. ඒ අනුව රාත්‍රිය පෙම්වතියකට අති සුන්දරය, දඟකාරය, දඟකාර රැයක අඳුර වැඩිවෙත්ම - වැඩිවෙත්ම පෙම් බස් කෙළීමට වඩා සියුම් ලිංගික ආස්වාදයක් ලැබීමට කයින් හා මනසින් පෙම්වතියට කරනු ලබන පීඩනය දැඩිය. එසේ සරා ගිනි උත්පාදනය වනු ලබන කාන්තා ශරීරයේ එක අවයවයක් වනුයේ පියයුරු ය. කාන්තාවකගේ පංච කළ්‍යාණයේ එක් අවයවයක් වන්නේ පිරිපුන් පියයුරු වන අතර එමගින්පිරිමින් තුළ සරාගී හැඟීම් ජනිත කරනු ලබන බව ලිංගික විද්‍යා පොතපත සඳහන් කරයි. මෙම යථාර්ථය ගීත රචකයා “රෑ දඟ වැඩියි තිසරුත් සළී” යනුවෙන් ගීතය තුළ බහාලමින් රසිකයාගේ මනෝභාවයන්ට ආමන්ත්‍රණය කරනු ලබන්නේය. 

  එපමණක් නොව දඟකාර දීර්ඝ රාත්‍රියෙහි පෙම්වතියගේ පියයුරු සලිත වෙමින්, නලියමින්, පොපියමින් රාග ගින්නේ දැවෙන්නට ඇති පිපාසාව හෙළිදරව් කරයි.  විශේෂයෙන් පිරිපුන් පියයුරු වල මස් ගොබ සහ තනපුඩු පෙම්වතාගේ ළයෙහි තෙරපීමෙන් ලබා දෙනු ලබන ආශ්වාදය හුදෙක් ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා සේය. ඒ බව “තිසරුන් සළී නොලැබූ සුවේ යදිනවා” යන වචන සමුදාය තුළින් ගීත රචකයා කියනු ලබන්නේය. ගීතයේ ප්‍රථමයෙන් පසු දිග හැරෙන පළමු පද වැල් දෙවරක් ගායනා කිරීමට සැලැස්වීම තුළ පෙම්වතියේ තිසරුන් අයදින නොලැබූ සුවයට ඇති පිපාසය වඩ වඩාත් තීව්‍ර කරයි.

     නැවතත් මුල් පද පෙළ යොදා ගැනීම තුළින් පෙම්වතා සහ පෙම්වතිය අතර සිදුවන රති කෙළිය සිදුවන්නේ සීත රැයක බව පුන පුනා මතක් කරනු ලබන්නේය. ඒ තුළින් ඔවුනොවුන් අත්විඳින සුවයට පරිසරය තුළින් ලබා දෙනු ලබන උත්තේජනය ගැන රසිකයාගේ මනස අවදි කරනු ලබන්නේය.

                     “සීතල ගෙනා පවනේ වෙලී
                     සේලේ පියා සලනවා” //

      සීත රැයේ සීතල ගෙනෙන ලද සුළගට වෙලි පෙම්වතියගේ දුහුල් ඇඳුමේ ඇති සේලය කුරුල්ලකුගේ තටු මෙන් පියා සලන බවත් ගීත රචකයා පවසයි. එය යථාර්තයක්ද යන්න කිසියම් සැකයක් උපදින්නේය. මෙම පදවැල් යම් ආකාරයක සංඥාර්ථවේදී ලක්ෂණයක් කියා පෑම සඳහා යොදා ගැනීමට ඇති ඉඩකඩ බොහෝය. මක් නිසාද යත් තිසරුන් ගැන සඳහන් කරන ලද පෙර කී පදවැල තුළින් පෙම්වතිය රාගී ගින්නක දැවෙද්දී ඇගේ ඇගලා තිබෙන සේලය හුදෙක් සීතල ගෙනා පවනේ වෙලී පියා සැලීමක් සිදුවේද ?... යන්න සැක සහිතය.

      සේලය හෙවත් වස්ත්‍රය පියා සලන්නේ රාග ගින්න තුළ දැවීමෙන් පෙම්වතියගේ ඇඟලා තිබෙන ඇඳුම් ගැලවී නග්නභාවය ප්‍රාර්ථනා කිරීමක්ද විය හැකිය. එය එසේ වීම අරුමයක් නොවන්නේය. මක් නිසාද රාග ගින්න තුළ දැවීමේදී පෙම්වතියගේ ශරීරය දවටා තිබෙන කවර ආකාරයක ඇඳුමක් වුවද නිරායාසයෙන් දැවී අළුවී යා යුතුය. ඒ බව ව්‍යංගාර්ථයෙන් පවසනු පිණිස රචකයා විසින්  සේලය පවනේ වෙලී පියා සලමින් ගැලවී යාමට ඉඩ හැරියාද ? යන්න උපකල්පනය කළ හැකිය. මෙම පදවැල්ද දෙවරක් ගායනා කිරිමට සලස්වන අතර ඒ තුළින් සේලය පියා සැලීම උද්දීපනය කිරිමට භාවිතා කරන ලද උපක්‍රමයක්ද විය හැකිය.

      නැවතත් මුල් පද පෙළ ගායනා කෙරෙන අතර ගීතයේ මුඛ්‍ය අත්දැකීමේ ආරම්භක පරිසරය පුන-පුනා ගැයිම තුළින් සීත රැයේ පරිසරය තුළ රසිකයා තබා ගැනීමට උත්සුක වෙයි. 
                       “මා බද වටා එතෙනා ඔබේ
                        පහසේ නුරා නිවෙනවා ”//

       උක්ත පදවැල් දෙක තුළින් ගිත රචකයා චිත්ත රූප මවින් තරුණ යුවළකගේ මධුසමය තුළ සිදුවූ රති කෙළියෙහි උච්ච අවස්ථාවට රසිකයා කැන්දාගෙන එනු ලබන්නේය. රති කෙළියෙහි උච්චතම අවස්ථාව කාම විද්‍යාවේදී සූරාන්තය ලෙස සැළකෙන අතර එම අවස්ථාවට පැමිණීමෙන් පසු කම් සැපයෙහි යෙදුණු යුවළ කායික හා මානසික උපරිම ලෙස ආශ්වාදයට පැමිණ තිබෙන බව පැවසේ. 

       උක්ත පද වැල් දෙක තුළින් පෙම්වතා පෙම්වතිවගේ බඳය වටා අත යවමින් ගසක කඳකට එහි  පොත්ත වෙලී පවතින්නේ යම් සේද ඒ අයුරින්ම තම පෙම්වතියගේ ශරීරය තම ශරීරය මත වෙළා ගෙන ඇති බවත් ඉඟි කරන අතර එසේ කිරීම තුළින් පෙම්වතියගේ රාගි ගින්න  අධික ලෙස ගිනි දැල් මෙන් ඇවිලගොස් ක්‍රමානුකූලව නිමි ගිය බවකුත් පෙන්නුම් කරයි. ඒ බව ඔබේ පහසේ නුරා නිවෙනවා යන පදවැල් තුළින් අනාවරණය කෙරේ. නුරා නිවෙනවා යනු අනුරාගය නිවී යාමය. ඔබේ පහසේ යන්නෙත් පෙම්වතා සමග රති ක්‍රීඩාවේ යෙදීම යන අදහස ඉස්මතු වේ. අවසාන පදවැල් දෙකෙන් පසුව ගීතය නිමා වන අතර යළිත් ගීතයේ මුල් පද පෙළ භාවිතා නොකිරීමට රචකයා වග බලාගෙන ඇත. මන්කියාද පෙම්වතියගේ රාගය නිවී ගිය පසු යළිත් වරක් ගීතයේ මුල් පද පෙළ යොදා මධුසමයට දෙදෙනා සූදනම් වූ අයුරු මතක් කර දීම ආයෝග්‍ය වන හෙයිනි. එහෙයින් රචකයා මනා ශීක්ෂණයෙන් යුතුව පදවැල් භාවිතා කර ඇති බව පෙනේ. 

    ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳව මෙන්ම එම සාධක දෙක අතර පවතින සහසම්බන්ධතාව පිළිබඳව උපමා රූපක, ව්‍යාංගාර්ථ ධවනිතාර්ථ අලංකාරෝක්ති සංඥාර්ථවේදී ලක්ෂණ ආමන්ත්‍රණය කරමින් තරුණ යුවලකගේ මධුසමයක පවතින ආත්මීය සබැඳීයාව පිළිබඳ අපූරු චිත්තරූපයක් මැවීමට ගීත රචකයා උත්සුක වී තිබෙන අතර එය අතිශය සාර්ථක මට්ටමක පවතින බව නොවලවා පැවසිය යුතුය. 
එහිදී සරල සුගම බවද දැකිය හැකිය- ඒ අනුව මෙම ගීතය නිර්මාණශීිලීි සංකේපනාවකි.

       ගීතයක කොතරම් ළගස්නා සු`ඵ පදවැල් මාලාවක් ඇතුළත් වුවද ඊට ජීවයක් ලැබෙන්නේ ගීතයේ පදමාලාව සහ ගීතයේ පරමාර්ථයට සරිලන නිර්මාණශීලි තනුවක් තිබේ නම් පමණකි. එය හුදෙක් විදුලි බලයෙන් දැල්විය නොහැකි කොතරම් සිත් ගන්නා හැඩයකින් යුක්ත පාට - පාට විදුලි බුබු`ඵ තිබුණද ඉන් නිසි එලියක් ලබා ගත හැකි වන්නේ ඒ විදුලි බුබු`ඵ වලට විදුලි බලය සම්බන්ධ කොට ආලෝකය ලැබීමෙන් පසු දීප්තිමත්ව ආලෝකයේ විහිදවිමේ ක්‍රියාවලිය හා සමාන බවක් ගනු ලබන්නේය. එහෙයින් ගීතය ක ප්‍රාණවායුව සංගීත තනුව වන්නේය. මෙම ගීතයට ආලෝකයක් ගෙන දෙන අයුරින් සංගීතවේදියෙකු සොයා ගැනීමට ගීත රචකයා වගබලා ගෙන ඇති අතර ඔහු ඒ සඳහා නව පරපුරේ සංගීතඥයෙකු වන කසුන් කල්හාර මහතා තෝරා ගෙන තිබේ. 

        සංගීතඥ කල්හාර මහතා මෙම ගීතයට අනුචිත නිර්මාණශීලි තනුවක් සකස් කර ඇති බව එහි සංගීතයේ ශ්‍රවණය කිරීමෙන් වැටහී යයි. සංගීතයේ ගතික බලය රිද්මය තුළින් ක්‍රියාවට නැංවෙන අතර තාලය තුළින් අසන්නා ප්‍රමුදිත කරනු ලබන්නේය. ඒ අනුව උච්ච, මධ්‍යම හා සංකීර්ණ ස්වර ඒ ඒ අවස්ථාවට උචිත අන්දමින් යොදා ගෙන ඇත. ඕගනය භාවිතා කරමින් ගීතයේ පසුබිම් පරිසරය වන සීත රැයක ශීත සුළගේ ස්වභාවය චිත්තරූපීව මවා පෑමට සංගීතඥයා දක්ෂවන අතර අතිශය සදියුම් සංගීතයක් යොදා ලයාන්විත සංගීතයක් යොදා ගැනීම  තුළින් ඔහුගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කර ඇත. තරුණ සංගීතවේදියකු වශයෙන් යෞවනයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ මනා පරිචයක් තිබෙන කල්හාර මහතා සංගීතය තුළින් ඒවා ආමන්ත්‍රණය කරනුයේ ගීතයේ වචනවලට අනුගත වෙමිනි.

        ගීතයේ සඳහන් යුවළගේ ලිංගික ආස්වාදය භුක්ති විදීම හෙළිදරව් කරන “තිසරුන්  නොලැබු සුවය යදීන” යන වචන සමූහයට උචිත පරිදි සංගීතය යොදා ගෙන ඇති අතර එහිලා වයලීනයේ කම්බි අපුරුවට දෝලනය කරමින් රාගී ගින්න ඇවිලියන අයුරු දෙසවනට ශබ්ද රසය තුළින් ලබා දීමට උත්සාහ කරනු ලබන අතර එහි සාර්ථක ප්‍රතිඵල ඔහු නෙළා ගෙන ඇත. ගීතයේ පෙම්වතියගේ හැගීම් උත්සන්න වීමේ අවස්ථාවක් නිරූපණය කිරීම සඳහා වයලීනය බහුලව යොදා ගෙන ඇත. ගිටාරය වැනි සංගීත භාණ්ඩයක් යොදා ගෙන තිබෙන බවක් ඇසෙන අතර එය ගීතයේ අවස්ථාවන් වෙනස් කර හදුනා ගැනීමට උපකාරි වී ඇත. 

       ගීතයේ අවසාන පදවැල වන්නා වූ “ඔබේ පහසේ නුරා නිවෙනවා” යන වචන සමුදාය පිටුපස සංගීතය සඳහා ඕගනය හා වයලීනය බහුලව යොදා ගෙන තිබෙන අතර රාග ගින්නෙන් දැවී අ`ඵවී ගිය සරාගී හැගුම් සුවපත් වූ ආකාරය. ගීතයේ වචනවලට උචිත අයුරින් සංගීතය යොදා ගෙන ඇත. සමස්තයක් වශයෙන් ගී පද මාලාවට සහගීතයේ අරමුණට උචිත පරිදි සංගීතය යොදා ගැනීමට සංගීතඥයා සුරු විරුකම් දක්වා ඇති බව කිව යුතුය. 
        ඉතාහොඳ ගී පද මාලාවක් හා තනු මාලාවක් තිබු පමණින් ගීතයක් සම්පූර්ණත්වයට පත් නොවේ. ඊට අනුචිත කටහඬක් ඇති ගායකයෙකු හෝ ගායිකාවකද  තෝරා ගත යුතු වන්නේය. මෙම ගීතය සඳහා සංගීත විශාරද සමිතා මුදුන්කොටුව මහත්මිය තෝරා ගෙන ඇති අතර ගීතයට උපරිම අයුරින් යුක්තිය ඉටු කිරීමේ සහජ හැකියාවක් ඇයට තිබෙන බව ඇය විසින් සනාථ කර ඇති බව පෙනේ. සංගීත විශාරද මුදුන්කොටුව මහත්මිය අනුරාගී ගීත ගායනයට උපන් හපන්කම් ඇති තැනැත්තියක වන හෙයින් මෙම ගීතයේ පදමාලාව සහ කතා වස්තුවට සාධාරණයක් ඉටු වී ඇති බව පැවසිය යුතුය. 

      දරුවන් වැදු මවක විලිරුදාව දස්නාක් මෙන් ස්ත්‍රියකගේ අනුරාගී හැගීම් දන්නා ස්ත්‍රියකම මෙම ගීතය ගායනා කිරීම සඳහා යොදා ගැනීමට ඉතා ප්‍රවේපකාරි ලෙස කටයුතු කර ඇති බව පෙනී යයි. යම් හෙයකින් මෙම ගීතය ගායකයෙකු ලවා ගායනය කිරීමට ලබා දුන්නේ නම් ගීතයට යම් ආකාරයක හානියක් පැමිණීම වැළැක්වීය නොහැක. කතා කරන දෙනුවන්  ඇති ගායිකාවක් වන මුදුන්කොටුව මහත්මියට රසිකයා වශී කරගනිමින් ගීතයේ අත්දැකීම කරා ඔහු රැගෙන යාමට ඇයට අපූරු හැකියාවක් ඇති අතර එම හැකියාව උපරිම අන්දමින්ද භාවිතා කර ඇති බව කිව යුතුය.

   සැබැවින් ම මෙහිදී අපට සාහිත්‍යයෙන් තොර වූ ලිංගිකත්වයක් මෙන්ම, ලිංගිකත්වයෙන් තොර වූ සාහිත්‍යයක් දැක ගත නොහැක- මෙම ගීය ගත් කල එහි රචතයා තමා සතු වූ කලාත්මක හැකියාව පසෙකලා කිසිදු ව්‍යාංගාර්ථයක් වත් නොයොදා ගනිමින් එක හෙලාම ප්‍රකාශ කිරීම හරහා යමි අසාධාරණයක් මෙි හරහා සාහිත්‍ය රසයට සිදූ වුවායැයි පැසිය හැක. කෙසේ නමුත් මෙහිලා ආනන්ද පද්මසිරි විසින් රචිත, සමිතා මුදුන්කොටුව විසින් ගායනා කරන ලද, කසුන් කල්හාර විසින් සංගීතවත් කරන ලද “සීත රෑක මදු සමේ” ගීතය ලිංගිකත්වය පිළිබදව ප්‍රකාශ කිරීම සඳහා මනා වූ අයුරින් දෙස් දෙන්නා වූ ගිය නිර්මාණයක් වනුබව කිව හැකිය -
             

3 comments: