ලාංකීය සිනමාවේ කලාත්මක නිර්මාණ
චිත්‍ර කලාව සංගීතය, නව කතාව, කෙටි කතාව, නාට්‍ය කලාව එකිනෙක සසදද්දී ඇතැමුන්ට සිනමාව අනෙක් කලාවන්ට වඩා දැනෙනවා. ඇතමුන් චිත්‍රපටි නොබැලුවද සිනමාවට ආදරෙයි. සිනමාව මේ කලා පෙළේ අලුත්ම කලාව වීම, අනෙක් කලාවන් සමඟ ලිහාගත නොහැකි අයුරින් පැටලී තිබීම, නළු නිළියන්, වටේ ගොඩනැඟෙන රැස් වළල්ල, කලාවක් වගේම සංවිධිත කර්මාන්තයක් වීම ආදිය සිනමාවේ ජනප්‍රියතාවයට හා මිනිසුන්ගේ සිත් ඇඳබැඳ තබා ගැනීමට හේතුවනවා ඇත. එමෙන්ම සිත් වසඟ කරවන, ජීවිත දැක්ම වෙනස් කරවන, ඇලෙන ගැලෙන ඇබ්බැහි කරවන, තමන්ට ආවේණික මායාකාරී ගුණයක් සිනමාවට පවතිනු ඇත.
ඒ අනුව සිංහල සිනමාවේ ප්‍රධාන ප්‍රභේද තුනක් දක්නට ලැබේ.
1. පර්යේෂණාත්මක චිත්‍රපට
2. වෘත්තාන්ත චිත්‍රපට
3. වාර්තා චිත්‍රපට
මෙම ප්‍රභේද තුන යටතේ ලාංකීය සිනමාවේ සිනමා කෘති නිර්මාණය වී තිබීම දක්නට ලැබේ. ලාංකීය සිනමාවේ ආරම්භය 1925 ආරම්භ වූවායැයි පවසන ලද නමුත් එය කලාවක් ලෙස ක්‍රමවත් අයුරින් ආරම්භවීම සිදුවන්නේ 1947 ප්‍රථම කතානාද චිත්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටය නිෂ්පාදනය වීමෙනි. පළමුවන අවුරුදු නවය තුළ චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය කෙරුණේ ඉන්දියාවේදීය. එම නිසා දකුණු ඉන්දියානු ආභාෂය ඒ තුළ රැඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිෂ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටතදී නිෂ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. එමෙන්ම සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට ද මෙම අයුරින් කලාත්මක ලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළද 60 දශකයේ මුල් භාගයේදී ඉන්දීය ආරයේ කතා සාරයන් අඩංගු චිත්‍රපට නිෂ්පාදනය විය.
1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ශ්‍රි ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරළිය චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර මෙය ගීතවලින් තොර පළමූ සිංහල චිත්‍රපටය වේ. එමෙන්ම ලාංකීය සංස්කෘතිය පිළිඹිඹු කරන ලද කලාත්මක අගයෙන් ඉතා ඉහළ නිර්මාණයක් ලෙස මෙය හැඳීන්විය හැකිය. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දෂකයේ අග භාගයේදී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර ඇතුළුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය. සිංහල චිත්‍රපටයේ කලාත්මක පැතික
ඩ මුහුකුරා යෑම ආරම්භ වන්නේ ගම් පෙරළිය චිත්‍රපටයත් සමගිනි. ඒ අනුව, සාමා, පරසතුමල්, රන්සළු, ගොළුහදවත, දහසක් සිතුවිලි, බිනරමලී හන්තානේ කතාව ආදී කලාත්මක අගයෙන් ඉතා ඉහළ සුන්දර චිත්‍රපට බිහිවීම දක්නට ලැබිණි.
70 දශකයේදී ටයිටස් තොටවන්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා සිනමාවේ කලාත්මක පැතිකඩ පෝෂණය කිරීම සඳහා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව ප්‍රධාන තැනක් ගනු ලැබීය. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිෂ්පාදිත නිධානය චිත්‍රපටය ජාත්‍යාන්තර මට්ටමෙන්ද හොඳම චිත්‍රපටය ලෙස නම් කරන ලදී- එමෙන්ම 1970 දී රංජිත්ලාල් විසින් අධ්‍යක්‍ෂණය කළ නිම් වළල්ල චිත්‍රපටය තරුණ අසහනය හා ඒ සමයේ ලංකාවේ පැවති යොවුන් පරපුරේ හැඟීම් ධාරාව සිනමාවට නැඟීමට ගත් පුරෝගාමී ප්‍රයත්නයක් වශයෙන් අගය කළ හැකිය.
එමෙන්ම සිනමාව කලාවක් හා ව්‍යාපාරයක් ලෙස සාර්ථකත්වය තහවුරු කරගත් අවධිය ලෙස 70 දශකය හඳුන්වා දිය හැකිය. මෙකල කලාත්මක සිනමාවට ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ටයිටස් තොටවත්ත විසින් විශාල දායකත්වයක් සැපයූ අතර සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයේ ක්‍රියාකළ ධර්මසේන පතිරාජ 1974 අහස් ගව්ව චිත්‍රපටය අධ්‍යක්‍ෂණයෙන් සිනමා ලොවට අවතීර්ණ විය. එමෙන්ම මෙම කාලයේදී වසන්ත ඔබේසේකරයන්ගේ වල්මත් වූවෝ චිත්‍රපටය ද, අගය කළ යුතු සිනමා කෘතියකි.
මෙම කාලයේදී පතිරාජ විසින් එයා දැන් ලොකු ළමයෙක් 1977 දීද, බඹරු ඇවිත් 1978 දීද, පොන්මනි සහ සොල්දාදු උන්නැහේ 1981 දීද, අධ්‍යක්‍ෂණය කරන ලදි. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්‍යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදි. පතිරාජගේ පොන්මනි චිත්‍රපටය දමිල භාෂාවෙන් නිෂ්පාදනය වූවකි. සොල්දාදු උන්නැහේ පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත්පැන් සොඬයකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හී ඉරණම කෙරෙහි ආලෝකයක් පතිත කිරීමට උත්සාහ දරා ඇත.
1980 දශකය ආරම්භ වීමත් සමඟ චිත්‍රපට කර්මාන්තයේ බොහෝ වෙනස්කම් ඇති වනු දැකගත හැකිය. මෙම අවධීයේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, තිස්ස අබේසේකරගේ විරාගය (1988) ඩී.බී.නිහාල්සංහගේ රීදී නිම්නය (1983), මල්දෙණීයේ සිමියොන් (1986) සහ කෙළි මඬල (1991) වේ. කෙසේ නමුත් 80 දශකයෙන් පසුව ටෙලි නාට්‍ය වැනි නව කලා අංග බිහිවීම හා ජනප්‍රිය වීම තුළ සිනමාව සඳහා තිබූ ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රපංචය දෙදරා යන්නට විය. මෙම තත්වය තුළ රූපවාහිනිය හා තරඟ කළ හැකි වෙළෙඳ සිනමාවක් බිහිවීමේ අවකාශය ගොඩ නැඟිනි. මේ තත්ත්වය යටතේ 80 දශකයේ දෙවන භාගය වන විට කලාත්මක ගුණයෙන් යුතු නිර්මාණ බිහිවූයේ අඩු වශයෙනි. මෙකල බිහිවූ චිත්‍රපටවලට ප්‍රේක්‍ෂක ආකර්ශනය පිරිහීමත් සමඟ මෘදු කාම චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවයක් 90 දශකය තුළ ඉස්මතු විය. එමෙන්ම ස්වාධීන චිත්‍රපට සාදන්නන්ගේ නැගීම සිදුවන්නේ මේ වඅධියේදීය.
ලාංකීය සිනමාව තුළ පැවති කලාත්මකභාවය පිළිබඳව විමසීමේදී 1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සිට 90 දශකය දක්වා යුගයන්හිදී කලාත්මක වශයෙන් පිබිඳීමක් ලාංකීය චිත්‍රපට තුළ පැවති බව පෙන්වාදිය හැකිය. ලාංකීය සිනමාවේ කලාත්මක චිත්‍රපටයක් ලෙස 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිපදවන ලද රේඛාව චිත්‍රපටය හඳූන්වාදිය හැකිය. ලාංකේය ගැමි පරිසරය විදහා දක්වන කලාත්මක චිත්‍රපටයක් ලෙස මෙය නිපදවන ලදි. මෙහි කතා පුවත මුලින්ම සිංහල ගැමි ජීවිතය නිරූපණය කළේය. එහි පවුල් ජීවිතය, ගැමි චාරිත්‍ර වාරිත්‍ර හා ජන විශ්වාස වාර්තමාන සිනමාරූපී ආකෘතියකින් තොරව ඉදිරිපත් කළේය. ලංකාවේ සැබෑ සිනමාවක් බිහිව ඇති බවට මෙයත් සමඟ පිළිගන්නා ලදි. ගැමි ජන සමාජය මූර්තිමත් කිරිම හේතුවෙන් මෙය විචාරක හා ප්‍රේක්‍ෂක පැසසුමට ලකවීම දක්නට ලැබේ.
මීට අමතරව 60 දශකයේ බිහිවූ තවත් එක් කලාත්මක අගයෙන් යුත් චිත්‍රපටයක් ලෙස 1963 නිෂ්පාදනය කරන ලද ගම්පෙරළිය චිත්‍රපටය හැදින්විය හැකිය. මෙම චිත්‍රපටය එතෙක් ජනප්‍රිය සිංහල සිනමාවේ පැවති ආකෘතික හැඩගැස්ම වන ගීත, නර්තන, හාස්‍ය ප්‍රකාශන හා රණ්ඩුවීම් ඉවත් කරමින් වෙනත් සම්භාව්‍ය ප්‍රවේශයකට නිර්මාණය වන ලදි. ගම් පෙරළිය බිහිවීමත් සමඟම සිංහල සිමනාවේ කලාත්මක ප්‍රකාශනය ඉස්මතු කරමින් එහි සක්‍යතාව හා ගමන් මඟ වඩාත් හොඳින් වටහා ගැනීමට මෙය හේතුවිය. මීට අමතරව කලාත්මක චිත්‍රපටකරණයෙහිලා සෙරන්ඩිබ් නිෂ්පාදනායතයනය 1965 දී සාරවිට චිත්‍රපටය ද ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයද ලාංකීය සිනමාව තුළ බිහිවූ කලාත්මක චිත්‍රපට වශයෙන් හඳූන්වා දිය හැකිය. එමෙන්ම ජේ.ඩී.එල්.පෙරේරා විසින් මෙරට ගැමි ජීවිතය නිරූපණය කළ ඔහුගේම සිනමා කෘතියක් වන “සාමා” චිත්‍රපටය නිපදවිය. 1966 සිරි ගුණසිංහගේ සත් සමුදුර චිත්‍රපටය මඟින් ධීවර සමාජ වඩාත යථාර්ථවාදීව නිරූපණය කිරීමට සමත් වී තිබේ. මීට අමතරව වසන්ත ඔබේසේකරගේ “වෙස්ගත්තෝ” හා ඩී.බී.නිහාල්සිංහගේ “වැලි කතර” යන චිත්‍රපටද කලාත්මක අගයෙහිලා සැලකිය හැකි චිත්‍රපට වශයෙන් හඳුනාගත හැකිය.
1970, 80 කාලය තුල කලාත්මක චිත්‍රපට නිර්මාණයෙහිලා ප්‍රකටව සිටියේ ලෙස්ටර් ජේමිස් පීරිස් සහ ටයිටස් තොටවත්ත යන දෙදෙනාය. “හත් ලක්‍ෂණය, සිහසුන, සාගරිකා හා මංගල, යන චිත්‍රපට ටයිටස් තොටවත්ත විසින් නිපදවිය. මෙම චිත්‍රපටවල, ස්වරූපය ග්‍රාහක ආකර්ශණය දිනාගත හැකි අයුරින් නිපදවිය. එමෙන්ම කලාත්මක චිත්‍රපට ගණයේ තවත් එක් සුවිශේෂ චිත්‍රපටයක් ලෙස “නිධානය” හඳූන්වාදිය හැකිය. ලාංකීය සිනමාවේ කලාත්මක පැතිකඩ පිළිබඳව කතා කිරීමේදී ඒ සඳහා නිහාලසිංහ සිය චිත්‍රපට ඉදිරිපත් කිරීමේදී කලාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇතිබව පෙන්වාදිය හැකිය. මේ අයුරින් සිනමාවේ ආරම්භයේ සිට මෙරට කලාත්මක පැතිකඩ පෝෂණ්‍ය වී තිබෙන ආකාරය හඳූනාගත හැකිය.
ගොඩක් වටින ලිපියක්...
ReplyDeletegodak hoda lipiyk ada kale mewa amathaka wela thiyenne
ReplyDelete