Thursday 28 June 2018





                           ශ්‍රී ලංකාවේ මාධ්‍යය නිදහස






මාධ්‍ය නිදහස යනු සිය පුරවැසියන්ට  සහ ඔවුන්ගේ සමාගම් වලට මෙන්ම ප්‍රවෘත්ති වාර්ථා කරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශනවලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට රජය දී ඇති ඇපයයි ප්‍රවෘත්ති එකතු කිරිම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනීමට යැමේදී මෙය අදාල වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සඳහා ව්‍යවස්ථානුකුල හෝ නිතියට යටත්ව පවතී. රජයේ නිදහස් මහජන මාධ්‍යක් මගින් එහි පුද්ගලයින් සහ ඔවුන්ගේ සංගම් ප්‍රවෘත්ති එක්සත් කිරිමේ සංවිධාන සහ ඔවුන් නිකුත් කරන වාර්තාවලට සහතික විය යුතු වේ.

අවංක ලෙස ජනමාධ්‍ය ක්ෂේස්ත්‍රය තුළ සිය අරමුණු හා වගකීම් වටහාගෙන ආචාර ධර්මානකූලව සත්ය නිවැරදි හා සමබර පුවත් ගවේෂණාත්මතව ඉදිරිපත් කරමින් විශ්වසනීයත්වයෙන් යුතුව ග්‍රාහක ජනතාව දැනුවත් කරමින් ජනමාධ්‍යයේ උතුම් පරමාර්තය සුරක්ෂිත කරන මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදින්ට අද දෙයාකාරයක තර්ජනවලට මුහුණ දීමට සිදු වී තිබේ. මාධ්‍ය නිදහස සමග පැවරෙන ජාතික වගකිමක් තිබේ. බුද්ධයෙන් හා රසවින්දනයෙන් ජන සමාජය ඉහළ දැමීම ලෙස  දැක්විය හැකිය එනම් මාධ්‍ය භාවිතය හැම විටම ජනතාව සිතන පතන විදිහට වඩා ඉදිරියෙන් විය යුතුයි.

චිත්‍රපටය, ගීතය, ලේඛනය හා ජන මාධ්‍ය ආදී වශයෙන් කියැවෙන මේ මාධ්‍ය නාමිතය ගත් කල නිදහසට පෙර සහ පසු කියන කාලවකවානු කැපීපෙනෙන වෙනසකින් යුතු වෙයි. මෙයින් ජනමාධ්‍ය ලෙස හැඳින්වෙන පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ගැන පමණක් මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වේ. රටේ සිව්වැනි ආණ්ඩුව තරම් පිළිගැනිමට බලයක් සහිත වන ජනමාධ්‍ය භාවිතය හා එහි අරමුණ සම්බන්ධයෙන් ලොව පිළිගත් විවිධ නිර්වචන තිබෙන නමුත් මාධ්‍ය නිදහස පිළිබඳව ස්ථිර අදහසක් දක්නට නොලැබේ.

නිදහසට පෙර ජනමාධ්‍ය ගැන සලකන කල විශේෂයෙන් කැපී පෙනෙන්නේ පුවත්පතයි. ලෝක ප්‍රවනතා හා ව්‍යාපාර ලෝකය ඉලක්ක කරමින් මුල් යුගයේ බිහිවන ඉංග්‍රීසි පුවත්පත් දෙස බලාගෙන සිංහල පුවත්පත් කර්මාන්තය බිහිවන අතර එහි අන්තර්ගතය ජාතික නිදහස, ජාතික පිබිදීම යන දේශපාලන පෙළගැසීම් සමග ගැළපී යයි. සිංහල බෞද්ධ ජාතිකත්වය ඇහැරවීම සඳහා පුවත්පත් නිර්මාණය වන්නට විය.

1973 ලේක්හවුස් රජයට පවරාගැනීම නිදහසට පසු යුගයේ පුවත්පත් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකි. ඒ සමග පුවත්පත කෙරෙහි වූ දේශපාලන බලපෑම තවදුරටත් තහවුරු කෙරෙන අතර ඊට සාපේක්‍ෂව මාධ්‍යන්ගේ පැවති ස්වාධීනත්වය ගිලිහී යාම සිදුවීම දක්නට ලැබිණි. බලයට පත් ආණ්ඩුවේ කැමැත්ත පමණක් පිළිබිඹු වීමට මාධ්‍ය එළිපිටම යට වන්නේ මෙතැන් සිටය. ක්‍රමානුකූලව මෙරට මාධ්‍ය භාවිතය වගකීමෙන් තොර වූවාට අමතරව පටු සීමාවක රැදෙන්නට වීම නිසා ආණ්ඩුවේ කැමැත්ත එයින් එළියට ගන්නට උත්සාහ දැරීමක් දක්නට ලැබිණි. මෙරට මාධ්‍ය භාවිතය රටක් ජන සමාජයක් ඉදිරි ගමනකට යොමු කර වන්නට තරම් ප්‍රබල විය යුතුය.

1983 ජුලි කලබලයය හා 89 භීෂණ සමය වෙතින් මුර පහරක් එල්ල වනතුරු ජාතික සංහිදියාවට මුල පුරන හිතේ සංසිදීම සැලසු ප්‍රධාන මාධ්‍ය වූයේ සිංහල ගීතයට මුල්තැන ලබාදුන් ගුවන්විදුලියයි. දේශපාලන මුලට ගෙන ජාතික ගුවන්විදුලිය ද එතෙක් රැකගෙන ආ වගකීමද අතහැරිණි. පුවත්පත් මාධ්‍ය සමග ජාතික ගුවන්විදුලියද රාජ්‍ය බලපෑමට හසුවීම දක්නට ලැබිණි.

1994 වසර මෙරට මාධ්‍ය භාවිතයේ තීරණාත්මක සංධිස්ථානයකි. දේශපාලනයන් තම ඡන්ද බල ප්‍රදේශයට මත්පැන් අලෙවි බලපත් නිකුත් කරන මට්ටමින් විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් වන්නේ මේ සංදිස්ථානයේ සිටය. ඒ ඉඩ දීම හඳුන්වන්නේ මාධ්‍ය නිදහස යනුවෙන් නම් එම දැළි පිහිය මුදාහැරියේ වගකීමක් නැති දේශපාලන ව්‍යාපාරික කල්ලියක් අතට බව සිහිපත් කළ යුතුය. මාධ්‍ය භාවිතය තුළ නූතනයේ දිගින් දිගටම මාධ්‍ය නිදහස ඉල්ලයි. එහෙත් නිදහස සමග පැවරෙන වගකීම පිළිබඳව නොසලකයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව කතා කිරීමේදී මෙරට එවැනි නිදහසක් තිබේද යන්න පිළිබඳව ගැටලුවකි. ලාංකීය මාධ්‍ය ජාලය තුළ ස්වාධීනව ක්‍රියා කිරීමට ඉඩකඩක් ලැබී තිබෙන්නේද යන්න තවත් කුකුසකි. ඒ ඒ කාල වලදී බලයට පත්වන රජයන්ගේ පාලනයට යටත් වීමට බොහෝ විට ලාංකීය මාධ්‍යන්ට සිදුවී තිබේ.

ඒ අනුව,
- පුවත්පත් සීල් තැබීම
- පුවත්පත් තහනම් කිරීම
- මාධ්‍ය ආයතනවලට පහරදීම
- මාධ්‍යවේදීන් ඝාතනය කිරීම
- මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම
- නාලිකා වාරණය කිරීම

ආදී විවිධ ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ මාධ්‍ය නිදහස අවම වීමක් දක්නට ලැබේ. මාධ්‍ය නිදහසක් මෙරට දක්නට තිබේද යන්න ගැටලුවකි. මෙවැනි මර්ධනකාරී ක්‍රියා පිළීවෙත් අනුගමනය කරන මෙරට රාජ්‍යන් තුළින් මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු විය හැකිද? මේ අනුව ලංකාවේ මෙම නිදහස පිළිබඳවත් එයට එල්ලවන ගැටලු පිළිබඳවත් ලැංකික මාධ්‍යවේදීන්ගේ හඬ නැගීම දක්නට ලැබේ.




1 comment: